25 February 2025


කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය



කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ව්‍යාපෘති අධීක්ෂණය, ගැටලු විසඳීම සහ උපයෝගී සේවා සම්බන්ධීකරණය සඳහා ශ්‍රී ලංකා රජය සහ CHEC Port City Colombo (Pvt) Ltd සම්බන්ධ කරන ප්‍රධානතම ඒකකය ලෙස කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සැලසුම් කර ඇති කාර්යයන් 2027 ජුනි මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මඟින් සිදු කරන අධීක්ෂණ හා සම්බන්ධීකරණ කාර්යයන් අඛණ්ඩව තවදුරටත් සිදු කළ යුතු බව හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ මෙහෙයුම් කාලය 2027 වසරේ ජුනි 05වනදා දක්වා දීර්ඝ කිරීමට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)