විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සිය නිල නිවාස රජයට භාරදීම සඳහා සූදානමින් සිටින බව ඔවුන්ගේ කාර්ය මණ්ඩලය පවසනවා.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර එනම් සැප්තැම්බර් 09වනදා කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසින් පිටව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඇතැම් භාණ්ඩ ඉවත් කරගෙන බත්තරමුල්ලේ පිහිටි නිවසකට පිටව ගොස් තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවස භාරදීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි වර්තමාන නිල නිවස අතහැර යන ස්ථානය පිළිබඳව පවුලේ අය තීරණයක් ගන්නා බවද නීතිඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)