15 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. විදුලිබල මණ්ඩල සේවක සංගම්වලින් ආණ්ඩුවට රතු එළියක්

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04කට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලිබල මණ්ඩල සේවක සංගම් පවසනවා. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කළේ පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදු කිරීමයි. 

ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.
 
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේ  පසුගිය 4වනදා ආරම්භ කළ වර්ජනය සඳහා අදට දින 11ක් ගතවුවද මෙතෙක් බලධාරීන් සිය ගැටලුවලට විසදුම් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.

අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කරන බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියා. 


02. BYD වාහන ගැන අධිකරණයට දැනුම්දීමක්

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වන විට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිත බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා. 

තමන් විසින් ආනයනය කළ BYD වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සීජී සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව මෙම දැනුම්දීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


03. 2025 දෙවන කාර්තුවේදී ආර්ථිකයේ වර්ධනයක්

2025 වසරේ දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 4.9%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු පිළිවෙලින් 2%, 5.8% සහ 3.9%කින් ඉහළ ගොස් තිබෙන බවයි. 



04. සම්පත් මනම්පේරිගේ නීතිඥවරයා අධිකරණයට කියූ දේ

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 02ක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද (15) දැනුම් දී තිබෙනවා. 

එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරිගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරිගේ නීතිඥයන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 



05. කැඩපත් පවුර කුරුටු ගෑ තරුණියට අධිකරණයෙන් දුන් නියෝගය

ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරේ තමන් නම සටහන් කළ 21හැවිරිදි තරුණිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න නියෝග කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් 26වනදා දක්වායි.


06. එමී සම්මානයක් දිනූ ලොව ළාබාලතම නළුවා


ඇමරිකාවේ පවත්වන එමී සම්මාන උළෙලේදී සම්මානයක් දිනූ ළාබාලතම නළුවා බවට ඕවන් කූපර් සමත්වී තිබෙනවා. 


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු රංගනයෙන් දායක වූ 'ඇඩොලසන්ස්' නාට්‍ය මාලාව සඳහා මෙම සම්මානය ඔහුට හිමි වූ බවයි. 

ඕවන් කූපර් මේ වන විට 15 හැවිරිදි වියේ පසුවනවා. 

මේ අතර එමී සම්මාන උළෙලේදී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොඳම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත්වී තිබෙනවා. 



07. අපිට අත දුන්නෑ - පාකිස්ථානයෙන් පැමිණිල්ලක්


පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු නවීඩ් අක්‍රම් චීමා තරග තීරක Andy Pycroft වෙත නිල පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ 2025 ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ  (15) පැවති තරගයෙන් පසුව ඉන්දීය කණ්ඩායම ඔවුන් සමඟ අතට අතදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්.

මුළු ලෝකයේම අවධානය දිනාගත් ඉන්දු - පාකිස්ථාන තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඔවුන් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය වෙත පැමිණීමට කටයුතු කළා.





(colombotimes.lk)