සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර තිබෙන බවට චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා.
වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන්ගෙන් සැදුම්ලත් ගොවි සංවිධාන අද (10) පෙරවරුවේ කැප්පෙටිපොළ නගරයේදී විරෝධතාවයක ද නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
දේශීය අර්තාපල් සහ ලොකු ළූණු අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇතත් අර්තාපල් සහ ලොකු ළූණු සඳහා නිසි මිලක් නොමැති බවට පවසමින් පසුගිය සති කිහිපයේම ගොවීන් මැසිවිලි නඟා තිබෙනවා.
ගොවීන් සඳහන් කළේ තමන් අස්වනු නෙලන සමයේදීම අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමෙන් රජය ගොවියා අසරණ කළ බවයි.
සිය අස්වනු අලෙවි කරගැනීම සහ ඒවාට මෙවර අයවැයේදී කෘෂි කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවටද ගොවීන් චෝදනා කර තිබෙනවා.
ඒ අනුව වැලිමඩ සහ නුවරඑළිය ප්‍රදේශවල ගොවි සංවිධානවලින් සැදුම්ලත් ''දේශයේ ගොවි හඬ'' සංවිධානය ඊයේ (09) සඳහන් කළේ ගොවි ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අද (10) සියලුම කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
(colombotimes.lk)
