පසුගිය සඳුදා (සැප්තැම්බර් 04) කොළඹ වරායේ බවුසරයකින් රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් ඩීසල් ලීටර් 3,300ක් සොරකම් කිරීමට තැත් කළැයි සැකපිට ඉංජිනේරුවෙකු සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වෙරළබඩ පොලිසිය විසින්.
බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි ඉංජිනේරුවරයා කොළඹ වරාය අධිකාරියේ සේවයේ නියුතු අයෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කොළඹ වරායේ සේවය කරන මෝටර් රථ සේවා පෑස්සුම්කරුවෙකු ද සිටිනවා.
ඉතිරි දෙදෙනා සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි ඉන්ධන බවුසරයේ රියදුරු සහ සහායක දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.
මෙම සේවකයින් වසර 15කට වැඩි කාලයක් වරායේ සේවය කර ඇත්තේ කිසිදු චෝදනාවකින් තොරව බවයි පොලිසිය සඳහන් කළේ.
එය සලකා බැලූ සැකකරුවන්ට නොසැලකිලිමත්කම හෝ සොරකම් කිරීමට තැත්කිරීම යන චෝදනා එල්ල වී තිබූ අතර ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කළා.
(colombotimes.lk)