12 February 2025


ගාල්ල බන්ධනාගාරයේ හඳුනා නොගත් රෝගය වැළඳුණු රැඳවියන් ගණන ඉහළට



ගාල්ල බන්ධනාගාරය ආශ්‍රිතව පැතිර යන හඳුනා නොගත් රෝගය වැළඳුණු තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

ඊයේ (21) දිනයේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබුණා. 
 
මළ සිරුරු කොටස් මේ වනවිට රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි ගාල්ල බන්ධනාගාර අධිකාරී පුළිණ කරුණාරත්න මහතා පැවසුවේ. 
 
අදාළ රෝගීන් බන්ධනාගාරයේ වෙනම කොටසක රඳවා තබන බවත් බරපතළ තත්ත්වයක් මතුවුවහොත් රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර අධිකාරීවරයා පැවසුවා.
 
එමෙන්ම රැඳවියන් ඇතුළු සියලු දෙනාට මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය කර තිබෙනවා.
 
මියගිය රැඳවියන්ගේ සිරුරු වල කිසියම් බිබිලි වර්ගයක්ද දක්නට ලැබෙන අතර ස්වසන අපහසුතා හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබුණා. 
 
එමෙන්ම ඔවුන් දෙදෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් බන්ධනාගාරගත වී ඇත්තේද මත්ද්‍රව්‍ය චෝදනා වලට බවයි පොලිසිය සඳහන් කළේ. 
 
ඊයේ සහ පෙරේදා මියගිය රැඳවියන් දෙදෙනා ගාල්ල, මොරගොඩ සහ අහන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. 
 
මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ගාල්ල බන්ධනාගාරයට පැමිණ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)