18 December 2024


මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා එළියට



පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයන් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ ආදායම් හා වියදම් වාර්තා අද (17) සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක කියා සිටියේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ට සිය ආදායම් හා වියදම් වාර්තා භාරදීමට ලබාදී තිබූ කාලය පසුගිය 6වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කළ අපේක්ෂකයන් 8361 දෙනාගෙන් 7412 දෙනෙක් ආදායම් වියදම් වාර්තා භාරදී ඇති බවයි.

ස්වාධීන කණ්ඩායම්වලින් තරග කළ අපේක්ෂකයන් 690 දෙනාගෙන් 493දෙනෙක් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් 527 දෙනාගෙන් 434 දෙනෙක් අදාළ වාර්තා භාරදී තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ එම ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි.

(colombotimes.lk)