11 July 2025

logo

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී චන්දනාලේප රන් සම්මානයෙන් පිදුම් ලබයි



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවණ්‍ය සන්නාමයක් වන චන්දනාලේප පසුගිය දා පැවැති 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වුණා.

එහිදී චන්දනාලේප සන්නාමය විශිෂ්ටත්වය අගය කරමින් රූපලාවණ්‍ය සත්කාර, රූපලාවණ්‍ය අමුද්‍රවය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික කර්මාන්ත විශිෂ්ටතා  සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන දේශීය ව්‍යවසායකයින් රැසක් ඇගයීමට ලක් කෙරුණා.

පසුගිය වසර කිහිපය පුරා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් ලබා ගනිමින් සිය අඛණ්ඩ සාර්ථකත්වය ප්‍රදර්ශනය කළ චන්දනාලේප මෙවර ලබා ගත් රන් සම්මානය ඔස්සේ සිය සන්නාමයේ ව්‍යාපාරික විශිෂ්ටත්වය මෙන්ම නවෝත්පාදනය වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ද තහවුරු කර තිබෙනවා.

“මේ සුවිශේෂී වේදිකාව මත නැවත වරක් විශිෂ්ටත්වයේ සම්මානයෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්.

විශිෂ්ටත්වය වෙනුවෙන් අප විසින් සිදු කරනු ලබන අඛණ්ඩ කැපවීම නිසා අපට මෙම සම්මානය හිමි වූ බව අපි විශ්වාස කරනවා.

මෙරට ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස ගෙවුණු වසර 30කට ආසන්න කාලය පුරා උසස්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සිදු කිරීම නිසා ඒ ක්ෂේත්‍රයේ වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත් වන්න අපට හැකි වෙලා තිබෙනවා.

දුෂ්කර මාවතක ගමන් කිරීමෙන් පසු මේ ලබා තිබෙන මෙම විශිෂ්ටත්වය පිළිබඳ අපි නිහතමානීව ආඩම්බර වනවා.“ යැයි සංජීවක ආයුර්වේද නිෂ්පාදන පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කළා. 

චන්දනාලේප සන්නාමයේ අතීතය 1948 තරම් ඈත අතීතයකට ඇදෙන අතර එහි පුරෝගාමියා වූයේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආර්. පී. ඩී. ජයරත්න මහතායි.

පාරම්පරිකව පැවැත එන රහස් බෙහෙත් වට්ටෝරු සහ ගැඹුරු ආයුර්වේද දැනුම සංකලනය කරමින් ආරම්භ කළ මෙම නිෂ්පාදන, සිය නිෂ්පාදනයේ උසස් ප්‍රමිතිය පිළිබඳව අඛණ්ඩව සැළකිලිමත් වුණා.

ඒ නිසාම තරගකාරී වෙළඳපොලක විශිෂ්ටයා වෙමින් අද වන විට මෙරට විශාලතම ආයුර්වේද ආලේපන නිෂ්පාදකයා බවට පත් වීමට චන්දනාලේප සමත් වී තිබෙනවා.

ක්‍රීම් සහ ආලේපන, ෆේස්වොෂ්, ෆේස්වොෂ් පවුඩර්, ෂැම්පු වර්ග, බෝඩිලෝෂන් සහ සබන් ආදී වූ නිෂ්පාදන විවිධත්වය ඔස්සේ පැහැදිලි වන්නේ ද නව නිෂ්පාදන සිදු කිරීමට සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට චන්දනාලේප දක්වන අඛණ්ඩ කැපවීමයි.

චන්දනාලේප විසින් ලබා ඇති ISO 9001:2015, ISO 14001:2015 සහ ISO 22716 Cosmetic GMP ආදී ප්‍රමිති සහතික සිය නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතියක් තබා ගැනීමට ඔවුන් තුළ වන කැපවීම පෙන්වන කදිම නිදසුනකි.

මෙම ගෞරවනීය සම්මානයෙන් ලද උත්තේජනය සමඟ අඛණ්ඩව නව නිෂ්පාදන සිදු කරමින් අති විශාල පාරිභෝගික ප්‍රජාවකගේ අවශ්‍යතා තෘප්ත කිරීමට සමාගම කැප වී සිටිනවා.

ඒ අනුව නව පරාසයන්හි නිෂ්පාදන රැසක් එළිදැක්වීමට සමාගම සැලසුම් සකස් කර ඇති අතර එමඟින් චන්දනාලේප සතු වෙළෙඳපොල ප්‍රමුඛතාවය තව තවත් ස්ථාවර වනු ඇති.
(colombotimes.lk)