21 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 

02. රාජිතට අධිකරණයෙන් නොතීසි නිකුත් කරයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අගෝස්තු 29වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (20) නොතිසි නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.  

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කර තිබෙනවා. 



03. සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත්වෙයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත්වී තිබෙනවා. 

ඒ අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ඡන්ද විමසීමේදීයි. 

එහිදී නිලවරණය සඳහා අපේක්ෂකයන් 20දෙනෙක් පමණ තරග වැදී තිබෙනවා.

ඉෂාන් සංඛ මාපිටිගම සහ ජයසිංහ බණ්ඩාර අතර පැවති තරගයෙන් ඡන්ද 6ක් හිමිකර ගනිමින් ඉෂාන් සංඛ තේරී පත්වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරට තරුණයෙක් පත්වූ පළමු අවස්ථාව මෙයයි. 




04. ගාසාව යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායලයේ අනුමැතිය

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා ආරක්ෂක භටයන් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බවයි. 




05. සෞඛ්‍ය සේවයේ නිවාඩු අවලංගු වෙයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබාගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ රාජකාරී ස්වභාවය මත අත්‍යාවශ්‍ය රාජකාරී අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ඒ අනුව අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමටයි. 

අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. 

එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම ද සීමා කර තිබෙන බවද එම චක්‍රලේඛයේ සඳහන්.

කෙසේවෙතත් මෙම නව චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වා දෙන්නේ අදාළ විදේශීය නිවාඩු ලබාගැනීමට ආයතන සංග්‍රහයෙන් ලබාදී තිබෙන ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් අහිමි කර ඇති බවයි. 




06. ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනයෙන් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන නියෝජිතායතනයට තාවකාලික තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනය සඳහන් කළේ  ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන නියෝජිතායතනය ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනයේ නීති සංග්‍රහයට අනුකූල නොවන බවයි.

මෙම වසරේ මාර්තු මස 27වනදා පැවති ලෝක තහනම් උත්තේජක විරෝධී නියෝජිත ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා තහනම් උත්තේජන මර්ධන නියෝජිතායතනයේ කාර්යභාරය තම ආයතනයේ නීති සංග්‍රහයට අනුකූල නොවන බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනයට අනුකූලව කාර්යභාරය සකසා ගැනීම සඳහා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන නියෝජිතායතනයට  මාස 04ක් සහ දින 21ක කාලයක් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.




07. බිහිසුණු බස් රථ අනතුරක් - 73ක් ජීවිතක්ෂයට


බටහිර ඇෆ්ගනිස්ථානයේ බිහිසුණු බස් රථ අනතුරක් ඊයේ (19) සිදු වී තිබෙනවා. 

ඒ කාබුල් බලා යමින් සිටි බස් රථයක් ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 73දෙනෙක් මියගොස් ඇති අතර ඉන් 17දෙනෙක් කුඩා ළමුන් බවයි. 

එම අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථය ගිනි ගැනීමකට ද ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

බස් රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙක් ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් බවයි වාර්තා වන්නේ. 

බස් රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙක් ද මිය ගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ බස් රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත්කම මෙම අනතුරට හේතු වී ඇති බවයි. 


(colombotimes.lk)