13 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. රමිත් රඹුක්වැල්ල මාස 21කට ඉපැයූ වත්කම් මෙන්න

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කර තිබෙනවා. 

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු එම මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා. 

එලෙස මුදල් උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බවයි වාර්තා වන්නේ. 

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේදී රමිත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා. 

එම ධූරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබෙනවා. 

එමනිසා අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් 06 කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස 02ක් ද ඇතුළත්.
 
එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ඩිස්කවරි ජීප් රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බවයි වාර්තා වන්නේ. 

එසේම විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ද ආරම්භ කර තිබෙනවා. 

 


02. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට වරෙන්තු

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

අදාළ නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරට මරණ තර්ජනය කළ බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාරට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ඔහුට මෙලෙස නඩු පවරා තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඊට පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයෙක් අධිකරණයේ පෙනී සිටිමින් ඔහු රෝගාතුර බව දන්වා තිබෙනවා. 

එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



03. රුසියාවේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ අද (13) රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි.

භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා. 

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව මීටරයක් ​​දක්වා රළ ඇති විය හැකියි. 




04. 2026 පාසල් වාර සටහන නිකුත් වෙයි


2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර 2026.01.01වනදා ආරම්භ වී 2026.02.13වනදා තෙක් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. 

එමෙන්ම පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු 2026.02.14 සිට 2026.03.02 වනදා දක්වා ලබාදෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ සඳහන් වනවා.

ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03වනදා සිට 2026.04.10වනදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ පළමු වාරයේ දෙවන අදියරය සඳහා 2026.04.11 සිට 2026.04.19 වනදා තෙක් නිවාඩු ලබාදෙන බවයි. 

දෙවන පාසල් වාරය 2026.04.20වනදා සිට 2026.07.24වනදා දක්වා පැවැත්වෙනවා. 

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27වනදා සිට 2026.08.07වනදා දක්වා පැවැත්වෙන බවයි. 

එමෙන්ම තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා 2026.08.08 සිට 2026.09.06වනදා දක්වා නිවාඩු ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
 
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026.09.07වනදා 2026.12.04වනදා දක්වා පවත්වන බවයි. 


05. එළඹෙන වසරේ O/L සහ A/L විභාග පැවැත්වෙන්නේ මෙහෙමයි

2026 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන මාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 


අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2026 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වෙන බවයි. 

එමෙන්ම 2025 (2026) අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ 2026 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි.




06. වත්තේගම නගර සභාවේ හිටපු සභාපති රවීන්ද්‍ර බණ්ඩාර රිමාන්ඩ්

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති රවීන්ද්‍ර බණ්ඩාර සහ ඔහුගේ හිතවතෙක් වන ලක්ෂිත මනෝජ් වීරබාහු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීති විරෝධී ලෙස වාහන ආනයනය කර වංචනික ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනා මතයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ව සැප්තැම්බර් 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.  

පොලීසිය සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමඟම සුඛෝපභෝගී ජීප් රථ 2ක් ද අත්අඩංගුවට ගත් බවයි.



(colombotimes.lk)