16 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර අද (16) අලුයම අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් කාන්තාවක් මියගොස් තවත් 06දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලීසිය සඳහන් කළේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි. 

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම ළමුන් තිදෙනෙක් කළුබෝවිල රෝහලටත් ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි. 



02. රජයේ ආයතනවලට ඩිජිටල් අත්සන්

රජයේ ආයතන වෙත මහජනතාව ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේදී ඩිජිටල් අත්සන යෙදීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා. 

අමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාම සේවකගේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේදී ඩිජිටල් අත්සන් යෙදීම ආරම්භ කර ඇති අතර දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25ක එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක බවයි. 

දිවයිනේ සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද ඉදිරියේදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන බවද  අමාත්‍යවරයා සඳහන් කළා.  




03. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්දය දෙන්න අවස්ථාව

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. 




04. දකුණු පළාතට GovPay හරහා මුදල් ගෙවීමේ පහසුකම හඳුන්වා දෙයි

දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවා සඳහා GovPay යෙදවුම හරහා ජනතාවට මුදල් ගෙවිමේ පහසුකම හඳුන්වාදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මාතර, ගාල්ල, හම්බන්තොට යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල 03 ඇතුළු එම දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා මෙම යෙදවුම හරහා මුදල් ගෙවිමේ හැකියා⁣ව පවතින බවයි වාර්තා වන්නේ. 

මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 12ක් GovPay යෙදවුම මඟින් ආවරණය වනවා. 




05. SSP සතීෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.


ඒ එළඹෙන 30වනදා දක්වායි. 

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. 



06. නේපාලයේ සංචාරක ක්ෂේත්‍රය දැඩි අර්බුදයක


නේපාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සංචාරක අංශයට බලපෑම් එල්ල වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නේපාලයේ සංචාරක පැමිණීම 30%කින් පහත වැටී ඇති බවයි. 

පසුගිය වසරේ මෙම කාලයට වඩා සංචාරක පැමිණීම් 30%කින් පහත වැටී ඇති බවත් ඇතැම් සංචාරක වෙන්කර ගැනීම අවලංගු කර ඇති බවත් නේපාල සංචාරක අධිකාරිය, හෝටල් හිමියන් සහ සංචාරක සංවිධායකයන් සඳහන් කළා.
 
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ කත්මණ්ඩු නුවර කාර්යබහුල සංචාරක මධ්‍යස්ථාන, සාප්පු සහ අවන්හල් පාළුවට ගොස් ඇති බවයි. 

පසුගියදා නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් ජීවිත 72ක් අහිමි වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් 59ක් විරෝධතාකරුවන් වන අතර රැඳවියන් 10ක් හා පොලිස් නිලධාරීන් 3ක් සිටින බවයි.




07. වගා හානි සිදු වූ සෙවනගල උක් ගොවීන්ට වන්දි මුදලක්

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන්ට කිසියම් පිරිසක් විසින් 2025 අගෝස්තු 16, 20, 21, 22, 24 සහ සැප්තැම්බර් 04 හා 05 යන දිනයන්වල ගිනි තැබීම් සිදු කර තිබෙනවා.

ඒ හේතුවෙන් ගොවීන් 235දෙනෙක්ට පමණ අයත් උක් මෙට්‍රික් ටොන් 19,000ක් පමණ හානියට පත් වී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන්ට වන්දි මුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබෙනවා.
 
ඒ අනුව ගිනි තැබීමෙන් විනාශ වී ඇති නිශ්චිත උක් ප්‍රමාණයන් හා වගා හානි සිදු වී ඇති උක් ගොවීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා උක් පර්යේෂණ ආයතනයේ සහ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 

එමෙන්ම ගිනි තැබීම නිසා විනාශ වූ උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 7,000ක් බැගින් වන්දි මුදලක් එම ගොවීන් වෙත ලබාදීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.


(colombotimes.lk)