01. විදුලි සේවකයින් අද සහ හෙට අසනීප නිවාඩු
ලංකා විදුලිබල මණ්ඩලය සේවකයින් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරන ලෙස ඉල්ලමින්.
විදුලිබල මණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළේ මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද මෙතෙක් එයට කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
02. සොබාධනවි LNG විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට
කෙරවළපිටියේ 'සොබාධනවි' ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය අද (17) ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර එය සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ලක්දනව් සමාගම විසින් සැලසුම් කළ 'සොබාධනවි' බලාගාරය මඟින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.
මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදු කිරීම විශේෂත්වයක්.
03. පැතුම් T20 ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර පැතුම් නිස්සංක එම ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයේ රැඳී සිටියා.
04. බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අනුර විදානගමගේ නොහොත් කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා බැකෝ සමන් සහ තැඹිලි ලහිරු දෙසැම්බර් 02වනදා දක්වා රඳවා තබාගෙන විමර්ශනය සිදු කිරීමට අද (17) පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
ඒ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
05. සම්පත් මනම්පේරිට අධිකරණයෙන් දුන් නියෝගය
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 02ක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගියදා අභියාචනාධිකරණයට දැනුම්දුන්නා.
ඒ අනුව ඔහු අද (17) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.
ඉන් අනතුරුව සම්පත් මනම්පේරිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
06. ආර්ථික අර්බුදය අවසන් කරන කාලය ගැන ජනපතිගෙන් සහතිකයක්
2022 - 2023 ආර්ථික අර්බුදය සහ ඒ තුළින් ජනිත කළ සමාජ ඛේදවාචකය ඕපපාතික ක්‍රියාවක් නොවන බවත් ඒ හා බැඳුනු විශාල සාධක ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.
යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බවට ජනතාවට සහතික වන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය නොවන බවත් පැති ගණනාවකින් එය තහවුරු කරමින් සිටින බවයි.
එමෙන්ම සමස්ත ආර්ථිකය සහ ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක්ව තිබූ මොහොතක 2026 අයවැය තුළින් ආර්ථික අර්බුදය අවසන් කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
07. අධිවේගී මාර්ග සංවර්ධන සැලැස්ම ඇමති හෙළි කරයි
2028 වර්ෂය වන විට කඩවත සිට මීරිගම දක්වා වූ අධිවේගී මාර්ගය සාදා නිම කිරීමට පෙර පොතුහැර සිට රඹුක්කන දක්වා වූ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු සම්පූර්ණ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ඒ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.
කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් 2028 වන විට මාස 32ක කාලයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් 2028 අප්‍රේල් මස සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නිමකරන බවත් රඹුක්කන ආශ්‍රිත සෙසු මාර්ග ද ඒ අනුව සංවර්ධනය කරන බවයි.
(colombotimes.lk)