01. සැප්තැම්බර් මාසයේදී ඉහළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක්
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එම වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය 2024 වසරේදී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 555.6ක් බවයි.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 140.1ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවයි.
එමෙන්ම ගිය වසරේ එම කාලයට තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 4,843.8ක් වන අතර ඒ අනුව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 967.9ක් ලෙස වර්ධනය වී තිබෙනවා.
02. හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලුදෙනාට නිදහස
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර 02ක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13දෙනා ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාරදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (13) දිනයේදී ජීවත් වී සිටින ප්‍රාණ ඇපකරුවන් 20දෙනාම ඊශ්‍රායල හමුදා භාරය පත් කළ බවයි.
ඉන් අනතුරුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමටද නියමිතව තිබෙනවා.
එමෙන්ම හුවමාරුවක් ලෙස නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලට ගොඩ වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිසට අමතරව පැහැරගෙන හමාස් භාරයේ සිටි 39දෙනා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
03. හිටපු ජනපතිවරයෙක්ගෙන් අල්ලස් කොමිසමට ප්‍රකාශයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
ඒ වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
04. තවත් උණ්ඩ 1163ක් හමුවෙයි
මොරගහකන්ද ජලාශය ආශ්‍රිත මෙහෙයුමකදී ගුවන්යානා නාශක අවි උණ්ඩ 02ක් ඇතුළුව උණ්ඩ 1163ක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ T 56 ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ 895ක්, මිලි මීටර් 71 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ 116ක්, මිලිමීටර් 41 වර්ගයේ ගිනිඅවි උණ්ඩ 10ක්, මිලිමීටර් 78 වර්ගයේ ගිනිඅවි උණ්ඩ 2ක්, මිලිමීටර් 84.5 වර්ගයේ ගිනිඅවි උණ්ඩ 4ක්, GMPG උණ්ඩ 134ක් සොයාගත් බවයි.
එම මෙහෙයුමේදී ගුවන්යානා නාශක අවි උණ්ඩ 2ක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළා.
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ උණ්ඩ තොගය කවුරුන් හෝ විසින් මෙම ස්ථානයේ සඟවා තැබුවා ද යන්න පිළිබඳව සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසළ අද (13) දිනයේ ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
05. ලබන වසරේ නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්
ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් ලබන වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව යෝජනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කළ මැදිහත්වීම වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කළ බවයි.
මීට පෙර ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙනවා.
06. පුවක්දණ්ඩාවේ සනා යළි රිමාන්ඩ්
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් 'අයිස්' සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 'පුවක්දණ්ඩාවේ සනා'සහ මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ බව කියන යාත්‍රාවේ හිමිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔක්තෝබර් 27වනදා දක්වායි.
(colombotimes.lk)