01. මහපොළ ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ වෙයි
2024 / 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන්ගේ මහපොළ ශිෂ්‍යයාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ මෙම මස 31වනදා දක්වායි.
02. 2026 වසරේදී පළමු ශ්‍රේණියට හා හය ශ්‍රේණියට පෙළ පොත් නැති වෙයි
ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සහ හය ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ එම සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාකාරකම් හා මොඩියුලර් හඳුන්වා දෙන බවයි.
එමෙන්ම ඒවා මුද්‍රණය මේ වන විට ආරම්භ කර ඇති අතර එමඟින් එම ශ්‍රේණිවල සිසුන්ගේ පාසල් පොත් බෑගයේ බර අඩුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
03. මහින්දගේ PSO යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ ඔක්තෝබර් මස 31වනදා දක්වායි.
04. දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙළිවෙයි
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 53.134ක් හමුවූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
ඔහු සඳහන් කළේ මේ වන විට අදාළ යාත්‍රාවේ සිටි පුද්ගලයන් 5දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි.
05. අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රබල පොරොන්දුවක්
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිම පුද්ගලයෙක්ට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්වී තිබෙනවා.
06. නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
එම සංවිධානය සඳහන් කළේ අද (17) පස්වරු 4.00 සිට හෙට (18) පස්වරු 4.00 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවයි.
ඒ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කයේ - හල්දුම්මුල්ල
ගාල්ල දිස්ත්‍රික්කයේ - නෙළුව
ගම්පහ දිස්ත්‍රික්කයේ - අත්තනගල්ල
මහනුවර දිස්ත්‍රික්කයේ - දොළුව, උඩුනුවර, දෙල්තොට
කෑගල්ල දිස්ත්‍රික්කයේ - කෑගල්ල, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රඹුක්කන, යටියන්තොට, අරණායක, රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ - අලව්ව, රිදීයගම
මාතලේ දිස්ත්‍රික්කයේ - අඹන්ගඟ කොරළය, පල්ලේපොල, රත්තොට, උකුවෙල, යටවත්ත
මොනරාගල දිස්ත්‍රික්කයේ - මැදගම
නුවරඑළිය දිස්ත්‍රික්කයේ - හඟුරක්කෙත, අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කයේ - ඉඹුල්පේ, කලවාන, ඇහැලියගොඩ
(colombotimes.lk)