13 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. මන්දාරම් නුවර සෆාරි ජීප් නියාමනය කරයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබෙනවා. 

මන්දාරම් නුවරට මෑත කාලයේ සතියේ දිනවල සහ සතිඅන්ත දිනවල විශාල දේශීය සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා මේ වන විට සෆාරි ජීප් රථ 20ක් පමණ සේවයට යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව එම ජීප් රථ අදාළ නිෂ්පාදන සමාගම්වල දේශීය නියෝජිතයන් ගෙන්වා ඒවායේ තත්ත්වය සෑම මාස 3කට වරක් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. 

එමෙන්ම ඒවා පදවන රියදුරන්ගේ කාර්යක්ෂමතාව සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීමටත් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහි පළමු වැඩසටහන පසුගියදා හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාවට නංවා තිබෙනවා. 

 


02. රන් මිල යළිත් ඉහළට


ලෝක වෙළඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී තිබෙනවා. 

එමනිසා ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙරට රන් මිල ඊයේ (12) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් අද (13) වන විට ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක් මිල සටහන් වුණේ රුපියල් 310,800ක් ලෙසයි. 

එම මිල ගණන් ඊයේ (13) රුපියල් 301,500ක් ලෙස සටහන් වී තිබෙනවා. 

එමෙන්ම ඊයේ දිනයේදී රුපියල් 326,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 336,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 



03. PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව භාරදෙයි



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත භාරදී තිබෙනවා. 

ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින්. 



04. තුසිත හල්ලොලුවට වරෙන්තු



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (13) වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

ඒ ඔහුගේ නඩුව අද (13) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී එම සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.




05. ඇමරිකානු රජයේ දීර්ඝතම වසා දැමීම අවසන් වෙයි



ඇමරිකානු ඉතිහාසය තුළ එරට රජයක් මුහුණපෑ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ සංශෝධිත වියදම් කෙටුම්පතකට ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිවී තිබෙනවා. 

ඒ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 222ක් හිමිවීමත් සමඟයි. 

අනතුරුව එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය සඳහා යොමු කළ අතර ඊට ඔහුගේ අත්සන හිමිවීමත් සමඟ රජයේ වියදම් අකර්මණ්‍යවීම අවසන් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ වත්මන් පරිපාලනය මීට මාස ඒකහමාරකට පමණ පෙර එරට රජයේ වියදම් කෙටුම්පත කොංග්‍රසයේ අනුමැතියට ඉදිරිපත් කළ නමුත් ඩිමොක්‍රොටික් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කළ බවයි. 


(colombotimes.lk)