01. පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට විශේෂ සභාවක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ඒ අද (15) පාර්ලිමේන්තුවේදීයි.
02. ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර්වල පිපිරීමක්
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හී නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුවී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම පොලිස් ස්ථානයේ ගබඩා කර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුවී තිබෙන බවයි.
විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගලයන් 07දෙනෙක් මියගොස් තවත් 27ක් තුවාල ලබා තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
03. රන් මිල වෙනස් වෙයි
මෙරට රන් මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 305,200ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එය ඊයේ දිනයේදී රුපියල් 315,500ක් ලෙස සටහන් වුණා.
මේ අතර ඊයේ (14) දිනයේදී රුපියල් 340,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 330,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
04. ස්විට්සර්ලන්තයට පැනවූ තීරු බදු අඩු වෙයි
ස්විට්සර්ලන්තය සඳහා ඇමරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබෙනවා.
ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමඟ ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කරන බවයි.
මීට පෙර ස්විට්සර්ලන්තයට 39%ක තීරු බදු ප්‍රතිශයක් පැනවීමට ඇමරිකාව පියවර ගනු ලැබුවා.
05. ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල සංශෝධනය කරයි
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එය අද (15) සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 380, මැකරල් ග්‍රෑම් 425 රුපියල් 480 සහ ජැක් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 560ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
06. ඇමරිකාවේ ආහාර කිහිපයකට පැනවූ තීරු බදු ඉවතට
හරක් මස්, කෝපි ඇතුළු ඇමරිකාවේ ආහාර වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තීරු බදු ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට උද්ධමනය ඉහළ යාමත් සමඟ භාණ්ඩවල මිල අධික වීම හමුවේ ඇති වූ ගැටලු හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන බවයි.
එලෙස තීරු බදු අඩු කළ ආහාර අතරට කෙසෙල් සහ තක්කාලි ද ඇතුළත්.
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු ඉවත් කිරීම බලාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
07. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට විනය ක්‍රියාමාර්ග
පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ලලිත් පතිනායක තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළා.
අදාළ ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබාදී තිබෙනවා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් සංචාරයක නිරතව සිටීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මේ වන විට වැඩ බලන පොලිස්පති ධූරයේද කටයුතු කර කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)