11 January 2026

logo

අඩු පීඩන අවපාතය තවදුරටත් දුර්වල වෙයි



මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන අවපාතය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පද්ධතිය හේතුවෙන් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවයි.

ඒ අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර - උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම මේ වන විට ඉවත් කර තිබෙනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)