පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර මට්ටම දක්වා ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසූවේ කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.
මේ අතර අධික වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ඉහළ ජල මූලාශ්‍රයන් වෙත දිගින් දිගටම වර්ෂාව ලැබීම හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව සඳහන්.
කුකුලේගඟ ජලාශය භාර ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද උදෑසන 8.00 පමණ වන විට ඉන් තත්ත්පරයට ඝන මීටර් 120ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බවයි.
මේ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, දඹල, නාලියද්ද, ඇටඹ ගස් හන්දිය ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය දඹල ඇටඹගස් හංදිය සහ නාලියද්ද යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර පාසල් දරුවන් ඇතුළු එම මාර්ගය භාවිතා කරන ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව ඇති බව ද වාර්තා වනවා.
මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ කළුගඟ සහ නිල්වලා ගඟ ස්ථාන දෙකක දී පිටාර ගැලීමක් සිදුව ඇති බවයි.
කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර නිල්වලා ගඟ, තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තව දුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(Colombotimes.lk)
