13 November 2025

logo

කොළඹ ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි කිහිපයක් සංරක්ෂණය කරයි



ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය නිල නිවස (අරලියගහ මන්දිරය) සහ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. 

ඒ, 'නව කොළඹ උරුම නගර සැලැස්ම' යටතේ සංචාරක ආකර්ෂණයක් ලැබෙන ස්ථාන ලෙස සංරක්ෂණය කිරීමටයි. 
 
මෙම සැලැස්ම යටතේ වත්මන් නිල ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය නිවහන සහ කාර්යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට නියමිතයි. 
 
මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා අදහස් දක්වා තිබෙනවා. 
 
ඒ අනුව ඔහු සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ ප්‍රදේශයේ පරිපාලන සංකීර්ණය එක් ස්ථානයකට ගෙන යාම සඳහා විකල්ප ඉඩම් සෙවීම ආරම්භ කර ඇති බවයි. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර සලකා බලන බව වැඩිදුරටත් සඳහන්. 
 
එමෙන්ම ඉඩම් හඳුනාගැනීමෙන් පසු එම ගොඩනැගිලි පියවරෙන් පියවර මාරු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි වාර්තා වන්නේ. 
 
මීට අමතරව ‘නව කොළඹ උරුම නගර සැලැස්ම’ යටතේ කොළඹ නගරයේ ඇති තවත් ගොඩනැගිලි කිහිපයක් ආයෝජකයින්ට බුටික් හෝටල් ලෙස පවත්වාගෙන යාම සඳහා නැවත බදු දීමට ද නියමිතයි. 
 
ඒ අනුව මහා තැපැල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, පොලිස් මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය, විසුම්පාය, ශ්‍රාවස්ති (හිටපු මන්ත්‍රී නේවාසිකාගාරය), ගෆූර් ගොඩනැගිල්ල, ජාවත්ත පාරේ වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, වැලිකඩ බන්ධනාගාරය සහ ගාලු මුවදොර පිහිටි පැරණි ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල මෙසේ බදු දෙන බව සඳහන්. 
 
සැලැස්මට අනුව, බදු සහන කොන්දේසි සහිතව වසර 30 කට වැඩි කාලයක් සඳහා ගොඩනැගිලි බදු දීමට නියමිතයි. 
 
එමෙන්ම ආයෝජකයින්ට ගොඩනැගිල්ලේ මුල් අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වනු ඇති. 
 
ගෆූර් ගොඩනැඟිල්ල සහ පෝට් සිටි අතර මාර්ගය ජනතාවට භාවිත කළ හැකි පරිදි ආරක්ෂිත කොරිඩෝවක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් ජෝර්ජියාවේ ආයෝජකයෙකු ඇතුළු විභව ආයෝජකයින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළා.
(colombotimes.lk)