11 July 2025

logo

කිරිඳි ඔයෙන් හමු වූ වන අලියා ඝාතනය ගැන තොරතුරු කිහිපයක් එළියට



කුඩාඔය, තෙලුල්ල ජනපදයේ කිරිඳි ඔයෙන් ගොඩගත් අලියාගේ හිසේ තිබී සොයා ගත් පතුරම් කොපු කිහිපයක් අනුව අලියා වෙඩි තබා ඝාතනය කර ඇති බවට වනජීවී සංරක්ෂණ නිලධාරීන් තීරණය කර තිබෙනවා. 

දකුණු පළාතේ සහකාර වනජීවී සංරක්‍ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා විසින් මෙම තීරණය ප්‍රකාශ කර ඇති බවයි. 
 
වෙඩි තබා ඝාතනය කර කැබලිවලට කපා එම කොටස් ගඟට දමා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර වනජීවී නිලධාරීන් පැවසුවේ මළ සිරුරේ අනෙකුත් කොටස් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි. 
 
මේ අතර වන අලි ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. 
 
ඒ අනුව සංස්කෘතික හා පරිසර අධ්‍යයන මධ්‍යස්ථානයේ වනජීවී දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකයට (1992) හෝ CES හි 0719005549 අමතා ඔබට තොරතුරු ලබාදිය හැකියි.
(colombotimes.lk)