16 March 2025


බටලන්ද වාර්තාව ගැන රනිල්ගේ විශේෂ ප්‍රකාශය



බටලන්ද වාර්තාව තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ එම වාර්තාව සම්බන්ධයෙන් අද (16) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එම වාර්තාව මඟින් තමාට ඇති චෝදනාව වන්නේ අමාත්‍යවරයා ලෙස පොලිස් අධිකාරීවරයා මඟින් පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීම සුදුසු නොවන බවත් නිවැරදි ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට අදාළ නිවාස භාරදී ඔහු හරහා නිලධාරීන්ට නිවාස ලබාදීම බවත් ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ක්‍රියාව හේතුවෙන් තමා සහ නලීන් දෙල්ගොඩත් අනියමාකාරයෙන් වගකිව යුතු බවට කොමිෂන් වාර්තාවේ සඳහන් වන බවයි.

1987 වසරේදී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කළ බවත් එම අවස්ථාවේ රටේ ආර්ථික මරමස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට පැවරූ බවත් රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශය සිදු කරමින් කියා සිටියා.

අනතුරුව 1994 ජනාධිපතිවරණයෙන් පසු බටලන්ද ප්‍රදේශයේ වදකාගාරයක් තිබුණේ දැයි සෙවීමට කොමිසමක් පත්කළ බවත් ඊට නොයෙකුත් පුද්ගලයන් කැඳවූ බවත් ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ද සාක්ෂිකරුවෙක් ලෙස එයට සහභාගී වූ බවයි.

 
(colombotimes.lk)