2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවති තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිවයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 57ක්.
එය T20 තරගයකදී ඉන්දියාවට එරෙහිව කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි.
මීට පෙර 2023 වසරේදී අහමදාබාද්හිදී ලකුණු 235ක් හඹා යමින් සිටියදී නවසීලන්තය ලකුණු 66කට දැවී ගිය අතර එය මීට පෙර වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය T20 තරගයක රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවද මෙයයි.
2022 වසරේදී සාජාහිදී පාකිස්ථානයට එරෙහිව හොංකොං කණ්ඩායම රැස් කළ ලකුණු 38ට පසුව T20 ආසියානු කුසලාන තරගාවලියේදී ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා වනවා.
මෙහි පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව එක් කඩුල්ලක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කරන විට පන්දු 93ක් ඉතිරිව තිබුණා.
එය පිරිමි T20 තරගයකදී ඔවුන්ගේ විශාලතම ජයග්‍රහණයයි.
ඉන්දියාවට පෙර කිසිදු කණ්ඩායමක් T20 තරගයකදී පන්දුවාර 10ක් හෝ ඊට වැඩි කාලයක් ඉතිරිව තිබියදී තරගයක් ජයග්‍රහණය කර නොතිබුණා.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී කුල්දීප් යාදව්ගේ ලකුණු 7කට කඩුලු 4ක් බිඳ දැමුවා.
එය T20 ආසියානු කුසලානයේ දෙවන හොඳම පන්දු යැවීමයි.
ආසියානු කුසලාන ඉතිහාසයේ හොඳ පන්දු යැවීම 2022 වසරේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව බුවනේෂ්වර් කුමාර් වාර්තා කළා.
කුල්දීප් T20 තරගවලදී පන්දුවරයක කඩුලු තුනක් (හෝ වැඩි ගණනක්) ලබා ගත් අවස්ථා 4ක් තිබෙනවා.
ඔහුට වැඩියෙන් T20 තරගවලදී පන්දුවාරයක කඩුලු 3ක් හෝ වැඩි ගණනක් ලබාගෙන ඇත්තේ රෂීඩ් ඛාන් පමණයි.
ඔහු අවස්ථා 6කදී එම දක්ෂතාවයට වාර්තා කර තිබෙනවා.