මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයන් 41දෙනෙක් සිටි බවත් ඉන් 04දෙනෙක් මේ වන විට රටින් පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයන් 37දෙනෙක් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළා.
මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05දෙනෙක්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් 04දෙනෙක් හෙට (23) තුර්කි දේශ සීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයන් 35දෙනෙක් පමණ රැඳී සිටින බවයි.
එම පිරිස අතරින් 08දෙනෙක් ඉරාන ජාතිකයන් සමඟ විවාහ වී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)