22 June 2025


ට්‍රම්ප් ජාතිය අමතමින් ඉරානයට අනතුරු අඟවයි



ඉරානයේ න්‍යෂ්ටික බලාගාර 03කට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා තිබෙනවා. 

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවයි. 

එමෙන්ම සිදු කළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ළඟා කර ගත් බවත් තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ට්‍රම්ප් පැවසූ අතර ඊශ්‍රායලයට එල්ල වූ මෙම බිහිසුණු තර්ජනය මකා දැමීමට ඔවුන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතූ බවද ඇමරිකානු ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේදී ප්‍රකාශ කර තිබෙනවා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිදු කළ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පියවර ගත් බවයි. 

මෙලෙස ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකථන සංවාදයකද නිරත වී තිබෙනවා. 


(colombotimes.lk)