15 May 2025


අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනාව ගැන විශේෂ නිවේදනයක්



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මාසයේ සිට නතර කරන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කළේ 2023 ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා පමණක් බවයි.

අනතුරුව රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මාසය දක්වා ගෙවීම සිදු කිරීමට රජය නැවත වරක් තීරණය කළ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම යළි අදාළ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මාසය දක්වා දීර්ඝ කිරිමට රජය තීරණය කළ අතර ඒ අනුව අදාළ දීමනාව අප්‍රේල් මස දක්වා දීර්ඝ කළ බවද සුබසාධක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි මෙම දීමනාව ගෙවීම එකවර නතර කිරිමක් නොවන බව සුබසාධක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)