10 September 2025

logo

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්



නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවයි. 

සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් තබා ගන්නා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ නේපාලයේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ඔහු වැඩිදුරටත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඖෂධ භාවිතා කරන පුද්ගලයන් සෑම විටම ඒවා ළඟ තබා ගත යුතු බවයි. 

නේපාලයේ පවතින තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවත් නේපාලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ ප්‍රජා නායකයන් කිහිපදෙනෙක් සමඟ සම්බන්ධතා පවත්වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය  වැඩිදුරටත් සඳහන් කළේ නේපාලය තුළ සිසුන් 22ක් ඇතුළුව ශ්‍රී ලංකිකයන් 99ක් එරට සිටින අතර තානාපති කාර්යාල මණ්ඩලයද ඊට අයත් බවත් මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙක්ට හානියක් වාර්තා වී නොමැති බවයි.  



(colombotimes.lk)