colombotimes.lk
සිංහල | English

01 May 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්



දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (17) දිනයේ අවසන් වු තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමඟයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් වුණා.

එම ඉනිම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා.

එහිදි කාන්තා කණ්ඩායමක් එක්දින තරගාවලියක ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය වාර්තා කිරීමේ පළමු අවස්ථාව ද මෙයයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත් අතර ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ඇතුළත් වනවා.

ඒ අනුව එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ඉහළම තෙවැනි ලකුණු සංඛ්‍යාව මෙයයි.

මෙහිදී තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තුට හිමි වුණා.
(colombotimes.lk)