යුරෝපයට පළායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංගලාදේශ ජාතිකයන් 10දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදීයි.
ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් බංගලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයන්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඔවුන් සියලුදෙනා අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් වන අතර ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට පිවිසීමට සැලසුම් කර තිබූ බවට සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)