29 June 2025

logo

ලාංකික ධීවරයන් තිදෙනෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට



නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තරයෙන් සිදු වන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි. 

ඒ අනුව ඊයේ (28) දිනයේදී ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එලෙස අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනෙක් සිංහල ජාතිකයන් බවත් එක් අයෙක් දෙමළ ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ. 

ඔවුන් තිදෙනාගෙන් එක් අයෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙක් බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති පුද්ගලයන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

මෙම තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා සිකුරාදා රාත්‍රීයේදී මෙරටින් පිටත්වී ඇති අතර ඔවුන් අලුයම 04 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළා යාමට සැලසුම් කර තිබූ බවත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අනාවරණය කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම්හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)