16 September 2025

logo

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදයි



ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට (16) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ 'විද්‍යාවේ සිට ගෝලීය ක්‍රියාකාරිත්වය දක්වා' යන්නයි. 

ජාත්‍යන්තර ඕසෝන් දිනය යනු පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමේදී ඕසෝන් ස්ථරයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා කැප වූ දිනයකි. 

'පෘථිවියේ කුඩය' ලෙස හඳුන්වන ඕසෝන් ස්ථරය, සූර්යයාගේ හානිකර පාරජම්බුල (UV) විකිරණ අවහිර කරමින් ආරක්ෂිත පලිහක් ලෙස ක්‍රියා කරනවා. 

ඕසොන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සඳහා වන වියානා සම්මුතියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් එම සැමරුම සිදු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළා. 

1994 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සෑම වසරකම සැප්තැම්බර් 16වනදා ඕසොන් ස්ථරය සංරක්ෂණය කිරීමේ දිනය ලෙසට නම් කර තිබෙනවා. 

අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විට ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික ද්‍රව්‍ය පාරිභෝජනය අවම කිරීමට සහ තුරන් කිරීමට පියවර ගෙන ඇති බවයි. 



(colombotimes.lk)