colombotimes.lk
සිංහල | English

01 May 2024

VAT බදු සංශෝධන සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අද



විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ VAT බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහායි.

ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව බව සඳහන්.

අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින සියයට 15ක VAT බද්ද සියයට 18 දක්වා ඉහළ යනු ඇති.

ඊට අමතරව මෙතෙක් වැට් බද්ද අයත් නොවූ ක්ෂේත්‍ර රැසකට එම නව සංශෝධනය මගින් වැට් බද්ද අදාළ කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ සඳහා VAT බදු පැනවීමට නියමිතයි.

එමෙන්ම වෛද්‍ය උපකරණ, ගිලන් රථ, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් ද එම බදු පැනවීමට යටත් කිරීමට යෝජනා වී තිබෙනවා.

කෙසේවෙතත් විදුලි ගාස්තු සඳහා VAT බදු පැනවීම සිදු නොවන අතර ආනයනයේදී පැනවෙන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද, පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් යන භාණ්ඩවලින් ඉවත් කිරීමට නියමිතයි.

දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදනයන් ද නව VAT බදු පැනවීමට යටත් වන අතර තිරිඟු, තිරිඟු පිටි හෝ කිරිපිටි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නව VAT බදු සංශෝධනයෙන් නිදහස් කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
(colombotimes.lk)