21 February 2025


කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියාවේ විශ්ව විද්‍යාලයක් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි



කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියානු ජන රජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන සහ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධව වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධාන කිරීම අරමුණු කර ගනිමින් මෙම ගිවිසුමකට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

යෝජිත අවබෝධතා ගිවිසුමේ කාර්යන් මූලිකව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණික ආයතනයට අදාළ වන පරිදි ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

ඒ අනුව වසර 05ක කාලයක් සඳහා බලාත්මක වන පරිදි යෝජිත අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොළඹ විශ්වවිද්‍යාලය සහ කොරියානු ජන රජයේ ජාතික කොරියානු සමුද්‍රිය හා සාගර විශ්ව විද්‍යාලය අතර අත්සන් තැබීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාන්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)