colombotimes.lk
සිංහල | English

03 May 2024

ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහිත කාලගුණයක්



නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කිලෝ මීටර් 330ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

අදාළ ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව සඳහන්.

ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බර ව පවතිනු ඇති බවයි.

එමෙන්ම උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද සඳහන්.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවට එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේ දී වැසි ඇති වන බව සඳහන්.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත්, විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 පමණ තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)