19 January 2025


ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ ක්‍රමවේදය ගැන ගැටලු රැසක් හෙළිවෙයි



ඖෂධ සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබඳව පරික්ෂා කර ඒවායේ ගැටලුවක් ඇත්නම් ඒවා පරික්ෂා කර ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින්. 
 
නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බවට එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළකලා.
 
මීට අමතරව තවත් ඖෂධයක් භාවිතා කිරීම හේතුවෙන් දෑස් වලට හානි වූ බවට ද චෝදනා එල්ල වී තිබුණා. 
 
මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ, ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධය හදිසි ප්‍රතිපාදන මත ගෙන්වන ලද්දක් බවයි. 
 
එමන්ම අක්ෂි ශල්‍යකර්ම වලින් පසුව ලබාදුන් ඖෂධය ලියාපදිංචිය මත ගෙන්වා ඇති බව සඳහන්. 
 
මෙසේ ගෙන්වන ඖෂධ වල ප්‍රමිතිය ශ්‍රී ලංකාව තුළ පරික්ෂා කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති බවද එම අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න මහතා පැවසුවා. 
 
එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, මෙම පරීක්ෂණ සඳහා අධික මිලක් වැය වීම සහ සුදුසු රසායනාගාර නොමැති වීමයි.  
 
නමුත් අනෙක් රටවල මේ සඳහා නිසි ක්‍රමවේදයක් ඇති අතර මෙසේ ගෙන්වන ඖෂධ අහඹු ලෙස පරික්ෂා කරන බවද ඔහු සඳහන් කළා. 
 
මේ සම්බන්ධයෙන් සෞඛ්‍යවේදීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා සඳහන් කළේ, ඖෂධ නියාමනය තත්ත්ව පාලනය විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදුකළ යුතු බවයි. 
 
මීට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඇති රසායනාගාරයේ යන්ත්‍ර 50%ක් භාවිතා කළ නොහැකි තත්ත්වයේ ඇති බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)