21 February 2025


ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට පුළුල් නීතියක්



ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තර්ජනයන්ට මුහුණදීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවා තිබූ බවයි.

අනතුරුව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබෙනවා.

ඒ අනුව ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ බවයි සඳහන් වන්නේ.

එම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන අදාළ සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එම පනත් කෙටුම්පත තවදුරටත් වැඩි දියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අසකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)