17 April 2025


මරණ සහතිකය අලුත් වෙයි



පුද්ගලයකු මරණයට පත්වූ විට හදිසි මරණ පරීක්ෂකවරයා මෙතෙක් ලබා දුන් මරණ සහතිකය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබාදීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙන බව සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

ලබන සතියේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම සංගමයේ සභාපති අනුර හේරත් මහතා පැවසුවේ. 
 
මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට B-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට නව මරණ සහතිකය තුළ මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් එහි අඩංගු කිරීමට නියමිතයි. 
 
රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිළිබඳ විස්තර, ඥාතීන් පිළිබඳ විස්තරද ඒ අතර ඇතුලත්. 
 
එය අන්තර්ජාතික නිර්නායකයන්ට අනුකූලව සකස් කරන ලද මරණ සහතිකයක් වීම විශේෂත්වයක්. 
 
මේ අතර ලබන සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ට මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමටද අධිකරණ අමාත්‍යාංශය තීරණය කොට ඇති බව සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා. 
 
ඒ අනුව ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, මූලික රෝහල් ඇතුළු රෝහල් වලට පත් කරනු ලබන මරණ පරීක්ෂකවරුන්ට අමතරව එසේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම එක් මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)