විසුම් පාය ඇතුළු කොළඹ පිහිටි රජයට අයත් ගොඩනැගිලි කිහිපයක් වහාම බදු යටතේ පෞද්ගලික අංශයට පැවරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතා පවසන්නේ ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ල, තේ කෞතුකාගාරය සහ අක්කර තුනක ඉඩම් දෙකක් ද බදු දීමට සැලසුම් කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ආයෝජකයින් සමඟ එකඟතාවකට පැමිණ ඇති බවද ඔහු සඳහන් කළා.
මේ හැර නුවරඑළියේ පිහිටි රජයට අයත් තවත් ගොඩනැගිල්ලක් බදු දෙන ගොඩනැගිලි අතර තිබෙනවා.
මෙම ගොඩනැගිලි සහ ඉඩම් සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස සංවර්ධනය කර ඵලදායී ලෙස භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානියක් නොවන පරිදි පෞද්ගලික අංශයේ සේවාවන් සඳහා එම ගොඩනැගිලි ලබාදෙන බව ලේකම්වරයා පවසනවා.
(colombotimes.lk)