10 January 2026

logo

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම කාලගුණ අනාවැකිය මෙන්න



ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4.00 පමණ වන විට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද (09) සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

එමෙන්ම සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50-75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 





(colombotimes.lk)