සීනි ආනයන සමාගම් රුපියල් බිලියන ගණනින් අයුතු ලාභයක් උපයා ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසනවා.
ඒ 2020 ඔක්තෝබර් මස සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් සහ නැවත එම බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව එම අයුතු ලාභය රුපියල් බිලියන 16ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
2023 අගෝස්තු මස තිරිඟු පිටි ආනයනය තහනම් කර නැවත තිරිඟු පිටි ආනයනය කිරීමට ඉඩ දීම තුළින් තිරිඟු පිටි සැපයුම්කාර සමාගම් දෙකක් ද බිලියන ගණන් අයුතු ලාභ උපයා ඇති බව ද කාරක සභාව සඳහන් කරනවා.
එමෙන්ම අදාළ සමාගම් උපයා ඇති ලාභ සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් සිදු කර නිසි පරිදි බදු අය කිරීමට කටයුතු කරන ලෙස ද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ අවධානය යොමු වූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබුණා.
(colombotimes.lk)