19 December 2025

logo

2024 වසරේදී මහජන බැංකුව විසින් නව උපාය මාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනී



2024 වසරේ දී සිය උපාය මාර්ගික කටයුතුවල වෙනසක් සිදුකරන බව මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පවසනවා. 

'Echelon' සඟරාව විසින් කළ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළකර තිබුණා. 
 
ඒ අනුව ඔහු සඳහන් කළේ, නව බැංකු පනත යටතේ රජය සතු ව්‍යවසාය වෙත ණය ලබා දීමේ සීමාවන් ක්‍රියාත්මක කරන බවයි. 
 
එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පුද්ගලික අංශයේ ණය ලබා දීම සඳහා අවධානය යොමු කරන බව ද ඔහු සඳහන් කළා. 
 
මීට අමතරව 13% ක බැංකු අංශයේ අක්‍රීය ණය ඉහළ මට්ටමක පැවතීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වා තිබුණා. 
 
එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම සහ ඒවායේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳව සලකා බැලීමට නියමිත බව සඳහන්. 
 
මහජන බැංකුවේ ප්‍රධාන ගනුදෙනුකරුවන් දෙදෙනෙක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ද මෙම නව පනත බලපාන බව ඔහු පැවසුවා. 
 
ඒ අනුව තනි පාර්ශවයකට ණයට දිය හැකි මුදල පිළිබඳව සීමාවන් පැනවීම මෙහිදී සිදුවන බව සඳහන්. 
 
මීට ඔහු සඳහන් කළේ, බැංකුවට ඇති මූලිකම අවදානම විනිමය අනුපාතවල සහ පොලී අනුපාතවල ඇති අස්ථාවරත්වය බවයි. 
 
එමෙන්ම පොලී අනුපාතවල අස්ථාවරත්වය බැංකු සඳහා විශාල වශයෙන් තර්ජනයක් වී ඇති බව ද ඔහු සඳහන් කළා. 
 
මේ හේතුවෙන් සාධාරණ පරාසයක් තුළ පොලී අනුපාත පවත්වා ගැනීමට කටයුතු කරන බවයි ෆොන්සේකා මහතා අවධාරණය කළේ. 
 
මහජන බැංකුව විසින් ලබා ගෙන ඇති ප්‍රගතිය මෙරටේ පැවැත්මට උපකාරී වන පරිදි තිරසර ප්‍රගතියක් බවට පරිවර්තනය කිරීම සහතික කරන බව ද ඔහු සඳහන් කළා. 
 
එමෙන්ම මෙම ධනාත්මක ගමන් පථය අඛණ්ඩව පවත්වාගෙන යාම සිය ආයතනයේ අරමුණ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)