12 March 2025


බස් රථ සැරසිලි සම්බන්ධව සොයා බැලීමට කමිටුවක්



බස් රථ සැරසිලි සහ මොඩිෆිකේෂන් හේතුවෙන් මගී බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කළ නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහනවල නිර්මාණය වෙනස් කිරීම සහ වාහන විකරණය කිරීම සිදු කළ හැකි බවයි.

ඒ අනුව 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින් වාහන විකරණය (Modification) කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු කියා සිටියා.

(colombotimes.lk)