28 October 2025

logo

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගෙනා විදේශිකයෙක් කටුනායකදී කොටුවෙයි



රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට උත්සහ කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි වියේ පසුවන කැනේඩියානු ජාතිකයෙක් වන අතර ඔහු ඩුබායි සිට අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
 
සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ පොලිතින් මලු 6ක් තුළ කුඩා ඇසුරුම් 72ක හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18යි ග්‍රෑම් 253ක් සඟවා තිබියදී සොයාගන තිබෙන බවයි වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළා. 

(colombotimes.lk)