15 July 2025

logo

අද රාත්‍රියේදී ඡායා චන්ද්‍රග්‍රහණයක්



සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමග අද(05) දින රාත්‍රියේ ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම ග්‍රහණය ලංකාවේ සම්මත වේලාවෙන් අද රාත්‍රී 8.44 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට ) ඇතුළුවීමත් සමඟම ග්‍රහණය ආරම්භ වීමට නියමිතයි.

ග්‍රහණය අවසන් වනුයේ හෙට(06) දින අලුයම 1.01 ට වන අතරම උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ අද දින රාත්‍රී 10.52 ටයි.

ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සරල රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙලගැසී ඇති විට දීයි.

ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනෙන බව සඳහන්.
(colombotimes.lk)