17 September 2025

logo

ASIA CUP | තරග 2ක් දින්නත් ලංකාව එළියට?



2025 ආසියානු කුසලානයේ අවසන් හතරදෙනාගේ වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළත් B කාණ්ඩයේ ඉතා තරගකාරිත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (16) පැවති තරගය බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මෙම කාණ්ඩයට බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවට අමතරව හොංකොං කණ්ඩායමද ඇතුළත්.

මේ වන විට සහභාගී වූ තරග 2ම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන තිබෙනවා.

එමෙන්ම එහි 2වන ස්ථානය බංගලාදේශ කණ්ඩායම හිමි කරගෙන තිබෙන්නේ සහභාගී වූ තරග 3න් තරග 2ක් ජයග්‍රහණය කරමින්.

තමන් සහභාගී වූ තරග 2න් එක් තරගයක් ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථානයට එහි හිමි වී තිබෙන්නේ 3වන ස්ථානයයි.

මූලික වටයේ තරගවල ජයග්‍රහණ සමඟ A කාණ්ඩයේ පෙරමුණ හිමි කරගන්නා කණ්ඩායම් 2ටත් B කාණ්ඩයේ පෙරමුණ හිමි කරගන්නා කණ්ඩායම් 2ටත් 2025 ආසියානු කුසලානයේ අවසන් හතරදෙනාගේ වටයට සුදුකම් ලැබීමේ අවස්ථාව හිමි වනවා.

හොංකොං කණ්ඩායම ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්වීමත් සමඟ මෙවර ආසියානු කුසලානයෙන් නිල වශයෙන් ඉවතට විසි වී තිබෙනවා.

මූලික වටයේ A කාණ්ඩය යටතේ අවසන් තරගය හෙට (18) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන් B කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගනිමින් අවසන් හතරදෙනාගේ වටයට සුදුසකම් ලබනවා.

එමෙන්ම එවිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මූලික වටයෙන් ඉවත් වන අතර ප්‍රසාද ලකුණු 4ක් හිමි කරගත් බංගලාදේශය ශ්‍රී ලංකාව සමඟින් B කාණ්ඩය යටතේ අවසන් හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම තරගයට පරාජයට පත්වුවත් ඔවුන්ට ශුද්ධ දළ ලකුණු වේගය අනුව අවසන් 4ට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් පවතිනවා.

ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ දෙවනුව පන්දුවට පහරදීම සිදු කළහොත් අවම වශයෙන් ලකුණු 71කින් තරගය පරාජයට පත් නොවිය යුතුයි.

එමෙන්ම ලංකාව මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදීම සිදු කළහොත් ප්‍රතිවාදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 11යි එක් පන්දුවක් තුළ එම ඉලක්කය හඹායාමට ඉඩ ලබා නොදිය යුතුයි.

මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 71කින් හෝ පන්දු 53ක් ඉතිරිව තියදී තරගය පරාජයයට පත්වුවහොත් ශ්‍රී ලංකාව මූලික වටයෙන් ඉවත් වන අතර බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය අවසන් 4ට සුදුසුකම් ලබනවා.



(COLOMBOTIMES.LK)