05 December 2024


අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නිවේදනය කරයි



අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදාට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

10 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් මස 14 වන දිනට යෙදී තිබෙනවා.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29ක් ඇතුළත්ව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මුළු මන්ත්‍රීවරු ගණන 225ක්.

පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනයේදී විශේෂ කටයුතු රැසක් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වනවා.

පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි.

පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමි වනවා.

සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය සහ වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදු කරනු ලබනවා.

(colombotimes.lk)