විදේශිකයන් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විදේශ පුරවැසියෙක්ට මාසයක කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
මාසයකට වැඩි සහ මාස 02ක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල රුපියල් 21,000ක් වන අතර මාස 02කට වැඩි සහ මාස 6ක් දක්වා කාලසීමාවක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමට අය කරන මුදල දැක්වෙන්නේ රුපියල් 30,000ක් ලෙසයි.
මාස 6කට වැඩි සහ මාස 12ක් දක්වා කාලසීමාවක් සඳහා විදේශ පුරවැසියෙක්ට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අය කරන මුදල රුපියල් 45,000ක් වන බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම ඊට අමතරව විදේශ පුරවැසියෙක්ට රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා අය කරන මුදල රුපියල් 15,000ක් වන අතර රියදුරු බලපත්‍රය විනාශ වී හෝ හානී වී ඇත්නම් එම රියදුරු බලපත්‍රයේ අනු පිටපතක් නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 15,000ක් ලෙසයි.
ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 3,300ක මුදල රුපියල් 30,000ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් හිමි විදේශිකයෙක් සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබාදීමට මෙතෙක් අය කළ රුපියල් 15,000ක මුදල රුපියල් 60,000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.
(colombotimes.lk)
