02 April 2025


ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට අනුමැතිය



1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ දැනට බල පැවැත්වෙන එම පනතේ විධිවිධාන අනුගමනය කිරීමේදී විශාල කාලයක් ගතවීම හේතුවෙන් ඉඩම් අත් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගත වන කාලය අවම කර සරළ ක්‍රමවේදයක් යටතේ ඉඩම් අත්පත් කර ගැනීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බවයි.

ඒ සඳහා වන මූලික පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එම පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් එම පනත් කෙටුම්පත් කඩිනමින් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)