04 September 2025

logo

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයට අනුමැතිය



පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පන්ති කාමරයක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමා තුළ පවත්වා ගැනීම අවශ්‍ය වීම හේතුවෙන් අධ්‍යාපනය සඳහා රටේ සියලුම දරුවන්ට පවතින අයිතිය තහවුරු කරමින් පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් හඳුන්වාදීම සුදුසු බව හඳුනා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අතරමැදි ශ්‍රේණිවලදී විවිධ හේතූන් මත දැනට ඉගෙනුම ලබන පාසලේ සිට වෙනත් පාසලකට ඇතුළත් වීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය සිසුන් සඳහා ප්‍රමුඛතාව ලැබෙන පරිදි පාසල් අයඳුම් කිරීමේ අවස්ථාව සලසාදීම වෙනුවෙන් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවලංගු වීමට නියමිතයි.

(colombotimes.lk)