04 March 2025


සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතියට ඉඩම් ලබාදීමට අනුමැතිය



සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

2030 වසර වන විට රටේ විදුලි බල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

එම ප්‍රතිපත්තියට අනුව සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සුර්ය විදුලි බල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භුමි භාගයක් හඳුනාගෙන ඇති බව කැබිනට් තීරණයේ සඳහන්.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතියේ උපාය මාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි එම ඉඩම් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය වෙත ලබාදීම වෙනුවෙන් බලශක්ති අමාතවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)