colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනප්‍රිය ළදරු සබන් නිෂ්පාදනයකට උසාවියෙන් දඩ. ප්‍රවේශම් වන්නැයි පාරිභෝගික අධිකාරිය ජනතාවට දන්වයි.



ළදරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන සබන් වර්ගයක් වන 'කැලින් බේබි සබන්' සඳහා උසාවියෙන් දඩ නියම කර තිබෙනවා.

ඒ කැලින් බේබි සබන් දවටනයේ TFM (Total Fatty Matter) අගය 78% ලෙස සඳහන් කළද සබන් කැටයේ TFM අගය අඩුවෙන් පවත්වා ගනිමින් පාරිභෝගිකයන්ව රැවටීමේ වරදටයි.

ඩෙල්මා ලංකා (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කරන කැලින් බේබි සබන් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබනවා. 
 
එම කැලින් සබන් වල ගුණාත්මකභාවය පිළිබඳව සිදුකළ රසායනාගාර පරීක්ෂාවකින් හෙළිව තිබුණේ බිළිඳු සමට ඉතා අහිතකර ලෙස TFM අගය මෙම සබන් නිෂ්පාදනයේ අඩු බවයි. 
 
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා. ඒ කැලින් බේබි සබන් සඳහා අදාළ ප්‍රමිතිය පවත්වා නොගැනීම හේතුවෙන්.

TFM (Total Fatty Matter ) හි අර්ථය වන්නෙ සම්පූර්ණ මේද සංඝටක ප්‍රමාණයයි. එය බිලිඳු සමට ඉතාම වැදගත් වන අතර එමගින් බිළිදාගෙ සියුම් සමට අවශ්‍ය තෙතමනය හා පෝෂණය ලබා දි සමේ සංකූලතා ඇති වීම වළක්වනවා.  

එමෙන්ම TFM අගය අඩු සබන් වර්ග නිසා ළඳරු සමේ විවිධ රෝගයන් මෙන්ම විවිධ සංකීර්ණ ගැටළුද ඇති විය හැකියි.

ඒ හේතුවෙන් ළදරුවන්ගේ සිනිදු සමට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා සියලුම ළදරු සබන් නිෂ්පාදන වල TFM (Total Fatty Matter) අගය 78%ක් විය යුතුයි.

නමුත් දවටනයේ TFM (Total Fatty Matter) අගය 78%ක් ලෙස යොදා එහි ඇතුළත ඇති සබන් කැටයේ TFM අගය නිසි පරිදි පවත්වා නොගැනීම කැලින් බේබි සබන් වෙනුවෙන් එල්ලවූ චෝදනාවයි.

ඒ අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය අගෝස්තු 6 වනදා තීන්දු කළේ කැලින් බේබි සබන් වරදකරු බවයි. 
 
එමෙන්ම ඩෙල්මා ආයතනය විසින් මෙම වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව  මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කැලින් බේබි සබන් වෙනුවෙන් නියම කර ඇති දඩ මුදල රු. 25,000ක්.

කෙසේවෙතත් තවමත් ප්‍රධාන දහරාවේ රුපවාහිනී මාධ්‍ය යොදාගනිමින් කැලින් බේබි බිලිඳු සැමට හිතකර බවට දැන්වීම් පළකරනවා. 
 
එවන් පරිසරයක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පුවත්පත් කිහිපයක දැන්වීම් පළකරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බිලිඳු සම සඳහා කැලින් බේබි සබන් මිලදී ගැනීමේදී සහ භාවිතා කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙසයි.
 
පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාව වෙත කළ දැනුම් දීමයි.
 
 
 
 
 (colombotimes.lk)